සුදු හිසකෙස් කළු කරන විශ්මිත සත්කාර

ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියිනේ .ලස්සන පිළිබඳ කතා කරනකොට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තමන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර නිරෝගි බව,සුන්දර බව පිළිබඳවත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.කෙනෙකුගේ බාහිර පෙනුම පිළිබඳව සැලකිලිමත් වීමේදී ,හිසකෙස් වලට විශේෂ තැනක් හිමිවෙනවා.හිස කෙස් කියන්නේ කෙනෙකුගේ පෙනුමට වගේම පෞරුෂත්වයටත් වැදගත් වන සාධකයක් .හිස කෙස්වල පැහැය ලැබෙන්නේ මෙලනින් වර්ණක සෛල මඟින් .මෙම වර්ණක ප්‍රමාණයෙන් වැඩි වන විට හිස කෙස්වල පැහැය වැඩි වන අතර අඩු වන විට එහි පැහැය අඩුවේ.
වයස්ගත වීමත් සමඟ හිස කෙස් සුදුවීම සාමාන්‍ය තත්ත්වයක් . මෙය සිදු වන්නේ හිස කෙස්වල පැහැයට මූලික වන මෙලනින් වර්ණය නිපදවන සෛලවල ක්‍රියාකාරීත්වය වයස්ගත වීමත් සමඟ දුර්වල වීම නිසායි.නමුත් වයසට යාමට පෙර හිස කෙස් සුදු වීම අසාමාන්‍ය තත්ත්වයක්. මෙම තත්වය අකලට හිස කෙස් පැසීම ලෙසින් හැඳින්වෙනවා. අකලට හිස කෙස් පැසීම ඇතැම්විට කුඩා දරුවන්ගේ පවා අපිට දැකගන්න පුළුවන් .
අකලට හිස කෙස් සුදු වීම නිසා වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති කරනවා. මෙය තරුණ තරුණියන් මානසිකව පීඩාවට පත් කරනා ගැටලුවක්.අකලට හිසකෙස් සුදුවීම අද වන විට වනවිට සමාජය තුළ බහුලව දක්නට ලැබෙන ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

හිසකෙස් සුදු වෙන්නේ ඇයි ?

අපගේ සමෙහි වර්ණය මෙන්ම හිසකෙස්වල වර්ණය අඩු වැඩිවීම කෙරෙහි මෙලනින් ප්‍රධාන වශයෙන් ම බලපානු ලබනවා. ඒ නිසා එක් එක් පුද්ගලයාගේ ශරීරය තුළ අඩංගු වන මෙලනින් කෙස්වල වර්ණය කළු, දුඹුරු හෝ රතු සුදු ආදී වශයෙන් අඩු වැඩි වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් අප වයසට යනවිටදී හිසකෙස් වල අඩංගු වර්ණක සෛල ද ක්‍රම ක්‍රමයෙන් අඩු වීමක් සිදු වෙනවා ඒ නිසා වර්ණක සෛල මිය ගිය විට හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැ ගනු ලබනවා.

අකලට හිසකෙස් සුදුවීමට හේතු

  • ජානමය බලපෑම
    මවුපියන්ගේ හිසකෙස් ඔවුන් වයසට යෑමට පෙර සිදු වූවා නම් දරුවන්ගේ ද තරුණ අවධියේදීම හිසකෙස් සුදු විය හැකියි.
  • විටමින් B,B12 යන විටමින් වර්ග වල ඌනතාව
  • මන්දපෝෂණය
  • රක්තහීනතාවය
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම
  • දුම් බීම, මත්පැන් පානය, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය
  • පීනසය
  • ඇතැම් රෝග වලට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබා ගැනීම
  • දවසේ වැඩි වේලාවක් වායු සමීකරණය කරන ලද කාමරවල සැප පහසු වාහන වල සිටීම
  • අධික සීතල වතුර ස්නානය කිරීම
  • රාත්‍රී කාලයට ස්නානය කිරීම
  • නිදි වැරීම
  • මානසික පීඩන සහ ආතතිය
  • පින්නට නිරාවරණය වීම
  • විස සහිත කෘත්‍රිම ආහාර පාන ආදිය නිතර ලබා ගැනීම
  • සමබල ආහාර වේලක් නොගැනීම
  • රූපලාවන්‍ය සත්කාර සිදු කිරීමේදී භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා
  • හිසකෙස් වර්ණ ගැන්වීම, හිසකෙස් ස්ට්රේට් කිරීම, ෆර්ම් කිරීම, රීබොන්ඩිං කිරීම ආදී හිසකෙස් සැකසුම් දීර්ඝ කාලීනව සිදු කිරීම

අකලට හිස කෙස් පැසීම වළක්වාගමු

  • වෛද්‍ය උපදේශ මත මෙලනින් වර්ණය නිපදවන සෛල වර්ධනය කරවන විටමින් භාවිත කිරීම
  • යකඩ, ප්‍රෝටීන් අඩංගු මනා පෝෂදායී ආහාර දිනපතා ලබාගැනීම
  • දුම් බීමෙන්, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
  • නැවුම් පලතුරු සහ පලා වර් ග නිරන්තරයෙන් ආහාරයට ගැනීම
  • කෘත්‍රිම ආලේපන වෙනුවට ස්වාභාවික ශාකසාර ඇසුරින් නිපදවන පොල් තෙල් හෝ තැඹිලි තෙල් හිස ගැල්වීම
  • පීනස රෝගයෙන් පෙළෙන්නේ නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම

අකලට හිස කෙස් පැසීම වළක්වන ආයුර්වේද සත්කාර

අකලට හිසකෙස් පැසීම සඳහා ආයුර්වේදය තුළ සත්කාර රාශියක් හඳුන්වා දී තිබෙනවා.
එනම් ගොටුකොළ,මොනරකුඩුම්බිය, ඉරමුසු, මුකුණුවැන්න, කීකිරිඳිය, නෙළුම් අල, හාතාවාරිය, පොල් පලා, කරපිංචා, ලුණුවිල යන ද්‍රව්‍ය වලින් කුමන වර්ගයකින් හෝ සාදාගන්නා ලද කැඳ වර්ගයක් සතියකට දින තුනක් පමණ පානය කිරීම ඉතා ම සුදුසුයි.
ඊට අමතරව හිසකෙස් පැසීම සදහා සිදුකල හැකි සත්කාර වශයෙන්,

  • නික කොළ, පොකුරු වදමල්, වෙනිවැල්ගැට,සැවැන්දරා මුල් තැම්බූ ජලයෙන් හිස සෝදන්න
  • අමු නෙල්ලි දෙහි යුෂ සමඟ මිශ්‍ර කොට නෑමට පෙර හිසෙහි ආලේප කරන්න
  • වෙරළු කොළ කොටා යුෂ හිසේ ආලේප කිරීම සහ හිසකෙස් සෝදන්න
  • කීකිරිඳිය, මුකුණුවැන්න, ගොටුකොළ, එළකිරි හෝ ජලය සමග මිශ්‍ර කොට අඹරා ආලේප කිරීම කරන්න
  • රත්මල් කැකුළු කුඩු කීකිරිදිය හා පොල් කිරි සමඟ මිශ්‍ර කොට ආලේප කරන්න
  • කෝමාරිකා මදය බිත්තර කහ මදය සමඟ මිශ්‍ර කොට ආලේප කරන්න
  • දුම්මැල්ල කොළ ඇල්දියෙන් අඹරා හිසෙහි ආලේප කරන්න
  • නිල් අවරිය කොළ කොටා මිරිකා යුෂ ආලේප කරන්න
  • පොකුරු වද වදමල් ජලය සමග අඹරා ආලේප කරන්න
  • අරළු, තිප්පිලි, ඇවරිය කොළ, සහල් කැද සමඟ අඹරා ආලේප කරන්න
  • දෙහි කොළ යුෂ, දෙහි යුෂ, පොල්කිරි හිරු එළියෙන් රත්වන්නට තබා ආලේප කරන්න
  • තල තෙල් හෝ පොල්තෙල් වලට නෙල්ලි කුඩු දමා සිඳ ගත් තෙල් ආලේප කරන්න
  • කරපිංචා කොළ දමා රත්කර ගත් පොල් තෙල් සිඳ ගත් තෙල් ආලේප කරන්න
  • කීකිරිදිය යුෂ තල තෙලට දමා සිඳ ගත් තෙල් ආලේප කරන්න
  • දෙහි ගැට උළුහාල් තම්බා හිස සෝදන්න

මෙවැනි ආයුර්වේදීය ඖෂධ මගින් හිසකෙස් සේදීම මගින් ඉතා ඉක්මනින් අකලට හිසකෙස් සුදුවීම ඇතුළු හිසකෙස් සම්බන්ධ බොහෝමයක් ගැටළු ඉක්මනින් ම විසඳා ගන්න පුළුවන් .හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා මෙවැනි ස්වාභාවික විධික්‍රම අනුගමනය කිරීමෙන් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිතව හිස කෙස්වලට ප්‍රතිකාර කළ හැකිය. ඒ මඟින් කෘත්‍රිම රසායනික ආලේප වර්ග, ඩයි වර්ග භාවිතයෙන් ඇති වන අහිත කර තත්ත්ව ඇති නොවන බව ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් .
මේ ප්‍රතිකාර මොන තරම් ස්වභාවික වුණත්, ඇතැම්විට සමහර පුද්ගලයින්ට ආසාදන තත්ත්ව ඇති වන්න පුළුවන්. ඔබේ අකලට හිසකෙස් පැසීම මොන හේතුවක් නිසා සිදුවෙන්නේ ද කියන එක වෛද්‍යවරයෙක් හමුවට ගිහින්ම දැන ගන්න එක වඩාත් සුදුසුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!