දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න

කොණ්ඩේ දික් ‌වෙන්න අපි ගොඩාක් දේවල් කරනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සාමාන්‍යයෙන් කොණ්ඩයට දක්වන්නේ සුවිශේෂි සැලකිල්ලක්. කේශ කල්‍යාණය පංච කල්‍යාණයන්ගෙන් එකක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසාමයි.කෙටි කොණ්ඩ විලාසිතා එන්නට පෙර නිරෝගී දිගට වැවුන කෙස් කළඹක් බොහෝ කාන්තාවන් පවත්වාගන්න උත්සහ කළා.සමහරුන් රැල්ලට යමින් නව විලාසිතානුකූලව තම කෙස් කළඹ කපා දැමු අතර තවත් පිරිසක් නිරෝගී නොවු දුර්වල කෙස් කළඹ කපා කෙටි කළා .ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී මාක් ටවුන්සෙන්ඩ් කොණ්ඩය වැවීම ගැන දරන්නේ මේ වගේ අදහසක්
“කොණ්ඩය සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ මසකට අඟල් භාගයක් පමණයි. එහෙත් නිරෝගි හා පැලුණු අග සහිත හිස කෙස් නොමැති නම් පමණක් දිගු හිසකෙස් ලබා ගන්න පුළුවන්”

ඇත්තටම සුන්දර දිගු කෙස් කළඹක් යුවතියකට ආභරණයක්. ඒ නිසාම දිගු කෙස් කළඹකට බොහෝ යුවතියන් ප්‍රියතාවයක් දක්වනවා. කෙස් කළඹ ඉක්මනින් වර්ධනය කර ගැනීම සඳහා ඔබ ආහාරපානවලින් ලබා ගන්නා පෝෂණ ගුණය ද බාහිරින් ඔබ කෙස් කළඹට ලබා දෙන සත්කාර ද ඉතාමත් වැදගත්. දිගු කෙස් කළඹක් සඳහා නිවසේදී ම කරගත හැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි අද Share Care අරගෙන ආවේ .

Vitamin වැදගත්

නීරෝගිමත් දිගු කෙස් කළඹක් ඉතා ඉක්මනින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් ඔබ විටමින් A,B,C,D,E සහ අයන්, සින්ක්, ප්‍රෝටීන් බහුල ආහාර හොඳින් ලබාගත යුතු වෙනවා. එසේම කෙස් කළඹට හානි කරන අහිතකර රසායනික ද්‍රව්‍ය යෙදූ ආලේපන භාවිතය අවම කිරීම, හිරු එළියෙන් කෙස් කළඹ ආරක්ෂා කිරීම යන කරුණු පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි.ඉතින් අද අපි කියන්නට යන්නේ ඉක්මණින් කොණ්ඩය වවාගන්න ආස ඔබට ගෙදරදිම කළ හැකි සත්කාර කිහිපයක් ගැනයි .

1.ළුණු යුෂ සත්කාරය

හිසේ සම මත ඇති collagen වැඩි කිරීම සඳහා ළුණු යුෂ වල අඩංගු සල්ෆර් උපකාරී වෙනවා. ඒ නිසාම ඉතා ඉක්මනින් දිගු කෙස් කළඹක් ලබා ගැනීම සඳහා ඔබට ළුණු යුෂ භාවිතා කරන්න පුළුවන් .

අවශ්‍ය ද්‍රව්‍ය

  • ළුණු ගෙඩියක්
  • ලෙමන් යුෂ ස්වල්පයක්
    ළුණු ගෙඩිය හොඳින් පොඩිකර යුෂ ලබාගන්න.ඉන්පසු එයට ලෙමන් යුෂ ද මිශ්‍ර කරන්න .මෙම මිශ්‍රණය හිස්කබලේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා මෘදු shampoo එකක් භාවිතා කර සෝදා හරින්න.

2.බිත්තර සත්කාරය

කෙස් කළඹේ පෝෂණයට අවශ්‍ය සින්ක්,යකඩ, selenium වැනි පෝෂක රැසක්ම බිත්තර වල අන්තර්ගතයි. ඒ නිසාම ඔබේ කෙස් කළඹ ඉතා ඉක්මනින් වර්ධනය කිරීමට බිත්තර වලට හැකියාව තිබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර සුදු මදයක්
  • එඬරු තෙල් ස්වල්පයක්
  • ඔලිව් තෙල් ස්වල්පයක්
  • මී පැණි ස්වල්පයක්
    සියල්ල හොඳින් මිශ්‍රකර කෙස් කළඹේ සහ හිස්කබල මත ආලේප කරන්න. විනාඩි විස්සක් හිස ආවරණය කර තබා සීතල ජලයෙන් සෝදා හරින්න.

3.පොල්කිරි සත්කාරය

පොල්කිරි පොටෑසියම් වලින් සහ අයන් වලින් අනූන බැවින් ඉතා ඉක්මනින් ඔබේ කෙස් කළඹ වර්ධනය කිරීමට ඔබට උපකාරී වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් කිරි කෝප්ප 1/2
  • රස නොයෙදූ යෝගට් 1/2
  • අඹරා ගත් කරපිංචා කෝප්ප 1/2
  • ලෙමන් යුෂ ස්වල්පයක්
    මේ සියල්ල හොඳින් blender කරන්න. ඉන්පසු මෙම මිශ්‍රණය හිසේ සම මත සහ කෙස් කළඹේ ආලේප කර හිස විනාඩි හතලිහක් පමණ ආවරණය කර තබා සෝදා හරින්න.

4.නෙල්ලි සත්කාරය

නෙල්ලි විටමින් C බහුල පලතුරක්. ඒ නිසාම කෙස් කළඹ ආශ්‍රිත සත්කාර රැසකට නෙල්ලි යොදාගනු ලබනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරා ගත් නෙල්ලි හෝ නෙල්ලි කුඩු මේස හැදි දෙකක්
  • ලෙමන් යුෂ ස්වල්පයක්
  • රස නොයෙදූ යෝගට් ස්වල්පයක්
  • කෝමාරිකා යුෂ ස්වල්පයක්
    නෙල්ලි, ලෙමන් යුෂ, යෝගට්, කෝමාරිකා මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි හතලිහක් පමණ තබා සෝදා හරින්න.

5.එඬරු තෙල් සත්කාරය

එඬරු තෙල්වල fatty acid අන්තර්ගත බැවින් කෙස් හැලීයාම පාලනය කර හිස්කබලේ තෙතමනය වැඩි කිරීමට ඔබට උපකාරී වෙනවා. එසේම කෙස් කළඹ ඉක්මනින් වර්ධනය කිරීමටත් ඔබට එඬරු තෙල් භාවිත කළ හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • එඬරු තෙල් ස්වල්පයක්
  • ලෙමන් යුෂ ස්වල්පයක්
    එඬරු තෙල් ලෙමන් යුෂ සමඟ මිශ්‍රකර හිස්කබලේ සහ කෙස් කළඹේ ආලේප කර විනාඩි පහළොවක් පමණ සම්බාහනය කරන්න. විනාඩි තිහක් පමණ ආවරණය කර තබා සෝදා හරින්න.

ඒ විතරක් නෙමෙයි වායුගෝලයේ ඇති දූවිලි හිසමත පතිතවීමෙන් හිස අපිරිසුදු වෙනවා .යතුරපැදිවල, වීදුරු ආවරණ නොමැති වාහනවල ගමන් කිරීමෙන් ද හිස මත දූවිලි අංශු තැන්පත් වෙනවා .එවැනි අවස්ථාවලදී අනිවාර්යෙන්ම හිස පිරිසුදු කර ගැනීම කළ යුතුයි .ඒ වගේම හිස පීරීමට ගන්නා පනාව පිළිබඳව ද ඔබ සැලකිලිමත් විය යුතු ය. එය නිතර සෝදා පිරිසුදු කර ආරක්ෂිතව තැබිය යුතු ය. නොඑසේ නම් කෘමි සතුන් මඟින් පනාව හරහා විෂ සහිත දේ හිස් කබලට හා හිසකෙස්වලට එක්විය හැකියි.නිදන කොට්ටය නිසාද හිසකෙස්වලට විවිධ ආසාදන ඇතිවීමේ අවදානම පවතියි. මේ හෙයින් දින දෙකකට වරක්වත් කොට්ටය අව්වේ තැබිය යුතු ය. ඉන් විවිධ කෘමීන්ගෙන් හා දූවිලිවලින් ආරක්ෂා කර තැබීමද හිසට හා හිසකෙස්වලට ඇතිවන ආසාදන වළක්වා ගැනීමට ද හැකියාව තියෙනවා .
ඉතින් ඉක්මනට කොණ්ඩය වවාගන්න ආස ඔබත් මෙන්න මේ කියන බොහොම පහසු සත්කාර ටික කරලා බලන්න.පුංචි පුංචි අමුද්‍රව්‍ය ටිකක් අවශ්‍ය වන නිසා ඔබට පහසුවෙන් ගෙදරදීම මේ දේවල් ටික කර ගන්නට පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!