දෑස ලෙඩ කරන Digital eye strain

ඕනෑම දෙයක් ආදරයෙන් රැකබලා ගන්නට යාමේදී අප එය “ඇස් දෙක වගේ බලා ගන්නවා.” යැයි හඳුන්වන්නේ ඒතරමටම අපි ඇස් දෙක ආරක්ෂා කරන බව හැඟවීමටයි. ඇස ලෝකය අපට හඳුනා ගන්නට පෙනීම ලබා දෙන ප්‍රධාන ඉන්ද්‍රියයි.ඔබේ දෑස් රැක ගන්න එක ඔබ කැපවීමෙන් කරනවාද? දෑස් රැක ගන්න නම් කරන්න ඕනි දේ හරිම පුංචි දෙයක්. මේ දේ කලොත් හැමදාටම තියන නිරෝගී දෙනෙත් ඔබට ලැබේවි.ඔබ ඔබේ දෑස් වල සෞඛ්‍ය ගැනත්, ඒවා අක්ෂි රෝග වලින් ආරක්ෂිත බවත් ගැන සැලකිලිමත්ද?මොහොතකට සිතන්න.අක්ෂි රෝග නිසා ඔබේ දෑස් වල පෙනීම ඔබට නැතී වී ගියොත් කුමක් සිදු වෙයිද .ඒ පිළිබඳ සිතීම පවා අමිහිරි බව අපි සැවොම දනිමු.
වෙනදාටත් වඩා ඔබේ දෑස් හා අක්ෂි රෝග ගැන සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙනවා. දැන් ඔබ හිතනවා ඇති එහෙම කියන්නේ ඇයි කියලා .එයට ප්‍රධානතම හේතුව වන්නේ දියුණුවන තාක්ෂණයත් සමඟ වර්තමානයේ වයස් බේදයකින් තොරව බොහොමයක් පිරිස ස්මාර්ට් ජංගම දුරකථන , පරිඝණක , රූපවාහිනී ඉදිරිපිට දවසේ වැඩි කාලයක් ගත කිරීමයි.
ලොවපුරා සිදුකල විවිධ සමීක්ෂණ වාර්තා අනුව විද්‍යුත් තිර භාවිතය සමඟ ඇතිවන digital eye strain තත්වය විද්‍යුත් තිර භාවිතා කරන්නන් අතර ආසන්න වශයෙන් 65% පමණ ව්‍යාප්ති තත්වයක් සහිතව පැතිර පවතී. තවද COVID 19 ගෝලීය වසංගත තත්වය හමුවේ මෙම Digital eye strain ව්‍යාප්තිය තවදුරටත් ඉහල යමින් පවතී.

මොකක්ද මේ Digital eye strain

පරිගණක දෘෂ්ටි සහලක්ෂණය(Computer vision syndrome ), එසේත් නැතිනම් Digital eye strain යනු දීර්ඝ කාලීන පරිගණක, ටැබ්ලට්, ඊ-රීඩර් සහ ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවන අක්ෂි ආශ්‍රිත ගැටළු සහ වෙනත් ගැටළු සමූහයක් හා බැඳි ආබාධ තත්වයකි. මෙයට වඩාත්ම ගොදුරු වන්නේ විද්‍යුත් තිර සමඟ අධික කාලයක් ගත කරන පිරිසයි .

Digital eye strain රෝග ලක්ෂණ

අක්ෂි ආශ්‍රිත ගැටළු
ඇස් දැවිල්ල
ඇස් කෙවෙන ගතියක් ඇති වීම
ඇස තුළ යමක් සිරවී ඇති බවක් හැඟීම
ඇසින් කඳුළු ගැලීම
නිරන්තරයෙන් ඇසිපිය ගැසීම ( සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් )
ඇස් රතු වීම
ඇසෙහි බර ගතියක් දැනීම
ඇසෙහි වියළි බවක් ඇතිවීම
පෙනීමහි බොඳ ගතියක් ඇතිවීම
ද්විත්ව දෘෂ්ටිය
ළඟ ඇති දේ බලන විට දැනෙන අපහසුව
අධික ආලෝක සංවේදීතාවක් ඇතිවීම
දෘෂ්ටිමායා දර්ශනය වීම
ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇතිවීම

වෙනත් ගැටළු
හිසරදය , කොන්දේ සහ බෙල්ලේ ඇතිවන වේදනාව

Digital eye strain ඇති වීමට හේතු

  • විද්‍යුත් තිර සමඟ ඉහළ කාලයක් ගත කිරීම ( උදා- පරිගණක ක්‍රීඩා , සමාජ ජාල වෙබ් අඩවි ,මාර්ග ගත ක්‍රමයට සිදු කරන අධ්‍යාපනික හෝ සේවා කටයුතු ,රූපවාහිනිය නැරඹීම )
  • එකිනෙකට වෙනස් විද්‍යුත් තිර කිහිපයක් එකම මොහොතකදී භාවිතා කිරීම
  • ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන අතරතුරදී ස්මාර්ට් ජංගම දුරකථනයක තිරයේ ඇති දෑ ද බැලීම
  • දුර දෘෂ්ටිකත්වය | අවිදුර දෘෂ්ටිකත්වය යන රෝගී
  • දියවැඩියාව හෝ ප්‍රතිශක්ති ඌනතා රෝගී තත්වයකින් පෙළීම
  • විද්‍යුත් තිර භාවිතයේදී සිරුරට අහිතකර ඉරියව් වලින් දීර්ඝ කාලයක් ගත කිරීම
  • දුර්වල ආලෝකකරණයක් සහිත පරිසරයක සිටිමින් විද්‍යුත් තිර භාවිතා කිරීම
  • විද්‍යුත් තිරය මතට බාහිර තද ආලෝක කිරණ පතිත වීම
  • විද්‍යුත් තිර ඇසට ඉතාමත් ආසන්නයෙන් තබා ගැනීම
  • අවිවේකීව දිගු කාලයක් එක එල්ලේ විද්‍යුත් තිර වෙත අවධානය යොමු කරගෙන සිටීම
  • වායුසමනය කල පරිසරයක දවසින් වැඩි වේලාවක් ගත කිරීම ( මෙහිදී ඇතිවන ඇසෙහි වියළි ගතිය( eye dryness) , digital eye strain ඇති කිරීමට හේතු වේ )
  • අධික ලෙස රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමද ඇසෙහි වියළි ගතිය ඇති කිරීමට හේතු වේ.

Digital eye strain වළක්වා ගැනීම

  • විද්‍යුත් තිර භාවිතයේදී සෑම විනාඩි 20කටම වරක් අවම වශයෙන් තත්පර 20 ක කාලයක් තමා සිටින ස්ථානයේ සිට අඩි 20ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙස බලා හිදීම
  • විද්‍යුත් තිර අවම වශයෙන් ඇඟිලි තුඩු වල සිට වැලමිට දක්වා ඇති දුර තරම්වත් දුරකින් තබාගෙන භාවිතා කිරීම ( අඩි 1.5 පමණ )
  • ප්‍රමාණවත් ලෙස ආලෝකකරණය කල පරිසරයක සිට විද්‍යුත් තිර භාවිතා කිරීම
  • පරිගණක භාවිතය සඳහා විශේෂිතව සැකසූ කාච සහිත උපැස් යුවල භාවිතා කිරීම
  • විද්‍යුත් තිර වල ඇති අහිතකර කිරණ යම් තරමකට හෝ පාලනය කෙරෙන blue light filters වැනිදෑ ක්‍රියාත්මක කිරීම
  • නින්දට යාමට පැයකටවත් පෙර විද්‍යුත් තිර භාවිතයෙන් ඉවත් වීම
  • අත්‍යාවශ්‍ය නොවන කාරණා සඳහා විද්‍යුත් තිර භාවිතය අවම කිරීම
  • නිවැරැදි ඉරියව්වකින් හිඳ ගැනීම
  • නිරතුරුව අක්ෂි සම්බන්ධ ගැටලු ඇත්නම් අක්ෂි වෛද්‍යවරයකු හමුවීම

විඩාබර දෑස් ප්‍රබෝධමත් කිරීම

  • පිපිඤ්ඤා පෙති දෙකක් වැසූ දැස් මත මිනිත්තු 15 පමණ තබා ගෙන සිටීම
  • තේ කොළ මණ්ඩි වලින් සෑදූ පොට්ටනි දෙකක් වැසූ දෑස් මත මිනිත්තු 15 පමණ තබාගෙන සිටීම

ඇස් වලට කළ හැකි සරල ව්‍යායාම

කයට මෙන් ඇසටද ව්‍යායාම අවශ්‍යය.හිස නොසෙල්වන සේ සෘජුව තබා ගනිමින් මෙය කළ යුතුයි.

  • තත්පර 3ක් දෑස් වළින් ඉහල බැලීම හා නැවත තත්පර 3ක් පහළ බැලීම. මෙලෙස 3 වරක් සිදු කිරීම.
  • දෑස් වලින් තත්පර 3ක් දකුණුපස බැලීම හා නැවත තත්පර 3ක් වම්පසට දෑස් යොමු කිරීම. මෙලෙස 3 වරක් සිදු කිරීම.
  • දකුණුපස ඉහළ කෙළවරට තත්පර 3ක් දෑස් යොමු කිරීම හා වම්පස ඉහළ කෙලවරට තත්පර 3ක් දෑස් යමු කිරීම.
  • දකුණුපසට හා වම්පසට 3වරක් බැගින් ඇස් කැරකැවීම.
  • තදින් දෑස් පියාගෙන තත්පර කිහිපයක් සිට සෙමෙන් දෑස් ලිහිල් කිරීම
  • දෑස් හැකි පමණ විශාල කර නැවත සෙමෙන් නියමිත ප්‍රමාණයට ගැනීම.
  • සෑම පියවරකට පසු ඇසිපිය සැලීමද වැදගත් වේ.

ඇස් වලට කළ හැකි සම්බාහන ක්‍රම

ඇස් වසා ඇස් යටට වෙදැඟිලි තබා වම්පස සිට දකුණුපසටත් , දකුණුපස සිට වම්පසටත් රවුම් ආකාරයට සෙමෙන් සම්බාහනය කිරීම මඟින් දෙනෙතට හොඳින් රුධිර සැපයුම ලැබී දෑස් ප්‍රබෝධමත් වේ.

ඉතින් අපි හැමෝටම වගේ දැන් දැන් මාර්ගගත ක්‍රමයට (online) ගොඩක් දේවල් කරන්න තියෙන නිසා මේ වගේ ගැටළු දෙන්න සිදු වෙනවා .ඒ මොන දේ වුනත් නිරෝගී නිරෝගී දෑසක් තබා ගැනීම ජීවිතයේ ලද භාග්‍යයක් .සමාජයේ බොහෝදෙනා පීඩා විඳින විවිධ රෝග අතර ඇස් රෝගවලින් බහුතරයක් පීඩා විඳින්නේ තම ඇස් ආරක්ෂා කර ගැනීම ගැන එතරම් සැලකිලිමත් බවක් නොදක්වන නිසයි. දෑස ආරක්ෂා කරගනිමු. කලට වේලාවට ඇස් රෝග හඳුනා ගැනීම තුළින් ඔබගේ දෑස රැක දීමට පුළුවන් .ඔබේ ඇස් දෙක , ඇස්දෙක වගේම රැකගන්න .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!