ගැස්ට්‍රයිටිස්! හැදෙන හැටි සහ මිදෙන හැටි

අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදු වී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ නම්වලින් සමාජයේ ප්‍රචලිතව පැවතෙනු දකින්නට පිළිවන්. එයට හේතුව මෙම රෝග තත්ත්වය ඒ තරමටම ජනතාව අතර පැතිර පැවතීම යි.

ගැස්ට්‍රයිටිස් යනු?

ගැස්ට්‍රයිටිස් යනු අපගේ ආමාශය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක්. එය ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් ලෙස සරලව හඳුන්වනවා. ගැස්ට්‍රයිටිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් නිරීක්ෂණය කිරීමට හැකියි. එක ආකාරයක් කෙටි කාලයක් තුල දී මතුවිය හැකි අතර එය කෙටි කාලීන ගැස්ට්‍රයිටිස් (acute gastritis) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් පවතින්නේ දින 2-10 වැනි කාලයක් අතර යි. අනෙක් ආකාරය නම් දිගුකාලින ගැස්ට්‍රයිටිස් (chronic gastritis), එනම්, දිගු කාලයක් තිස්සේ සෙමින් සෙමින් මතුවන ගැස්ට්‍රයිටිස් තත්ත්වය යි. මෙම තත්ත්වය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව ද පවතිය හැකියි

ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන හේතු සහ අවදානම් සාධක

අද වන විට සුලබ රෝග තත්ත්වයක් බවට ගැස්ට්‍රයිටිස් පත්වීම කෙරෙහි බලපාන සාධක ගැන අවධානය යොමු කිරීම වැදගත්. මන්දයත් එය රෝගය වැළඳීම වළක්වාගැනීම කෙරෙහි උපකාරී වීම යි. ගැස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපාන සාධක අතරේ ඉහළින්ම සිටින සාධකයක් වන්නේ අධිකව මද්‍යසාර භාවිතා කිරීම යි. එසේම දුම්පානය කිරීම, අධිකව තේ, කෝපි වැනි දේ පානය කිරීම, අධිකව වේදනානාශක භාවිතය මෙන්ම නිවැරදිව ආහාරවේල් ලබා නොගැනීම වැනි වැරදි ජීවන රටාවන් මෙම තත්ත්වය කෙරෙහි හේතු විය හැකි වෙනවා.

එසේම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව Helicobacter pylori නමැති බැක්ටීරියාව ආසාදනය වීම ද මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි හේතු විය හැකි යි. එයට අමතරව ජීවන රටාව ආශ්‍රිතව සිදුවන වෙනස්කම්, එනම්, ශල්‍යකර්මයකට මුහුණ දීම, අනතුරකට ලක්වීම, පිළිස්සීමක් හෝ දැඩි ආසාදන තත්ත්වයක් වැනි හේතුවක් නිසා ඇති වන ආතතිය ද මේ කෙරෙහි හේතු වෙනවා. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව, ඇතැම් අසාත්මිකතාවයන්, ඇතැම් දිලීර හා වෛරස් ආසාදන වැනි හේතූන් ද, අමාශය ආශ්‍රිතව සිදුවන අනතුරු හෝ ශල්‍යකර්ම ආදිය ද මේ සඳහා මුල් විය හැකියි.

වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයන්ට ද මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් දැකිය හැකි වන්නේ වයස ගත වීමත් සමඟ ආමාශයේ බිත්ති තුනී වීම සිදුවන නිසා යි. එසේම වැඩිහිටියන්ට ආසාදන තත්ත්වයන් ඇති වීමේ වැඩි නැඹුරුවක් දකින්නට ලැබීමත් මෙයට හේතුවක්.

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිත රෝග ලක්ෂණ

ගැස්ට්‍රයිටිස් ආශ්‍රිතව ඇති විය හැකි රෝග ලක්ෂණ පුද්ගලයාට අනුව වෙනස් වීමට හැකි යි. එහෙත් සාමාන්‍යයෙන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැකි රෝග ලක්ෂණ ලෙස,

  • උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන දැවිල්ල හෝ කැක්කුම.
  • වමනය යාමට ආසන්න සේ හැඟීම හෝ වමනය යාම.
  • බඩ පුරවා දැමීම හෝ බඩෙහි අපහසුතාවයක් දැනීම.
  • උගුරෙහි දැවිල්ලක් ඇති වීම.
  • කෑම අරුචිය.
  • නිතර නිතර ඉක්කාවන් ඇති වීම.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඉතාමත් බරපතල මට්ටමකට පැමිණි විට,

  • වමනය සමඟ ලේ පිටවීම.
  • මළ සමඟ ලේ පිටවීම.
  • ශරීරයේ ලේ අඩුකම/ නීරක්තිය

මෙම රෝග ලක්ෂණ සතියක් හෝ ඊට වැඩි දින ගණනක් පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වෙනවා.
නමුත් වමනය සමඟ හෝ මළ සමඟ රුධිරය පිටවීමක් සිදුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට ද වගබලා ගත යුතු වෙනවා.

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නිවැරදිව ප්‍රතිකාර ලබා නොගතහොත් ඒ ආශ්‍රිතව සංකූලතා රැසක් ද ඇතිවීමේ අවධානමක් පවතිනවා. මෙම රෝගය දිගු කලක් පැවතීම ආමාශය ආශ්‍රිතව තුවාල ඇතිවීමට හා රුධිර වහනයක් වීම දක්වා වර්ධනය වන්නට හැකි වෙනවා. එලෙස අධිකව රුධිරය වහනය වීම ශරීරයේ ලේ අඩුකමක් ඇතිවීමට ද හේතුවිය හැකියි. එසේම මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදු නොකර දීර්ගකාලීනව පැවතීම ඒ ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් වැනි බරපතල රෝගයන්ට පවා හේතුවිය හැකි යි.

ප්‍රතිකාර හා වළක්වාගන්නා ආකාරය

යම් රෝගයක් ඇති වී සුව කරගන්නවාට වඩා අප පියවර ගත යුත්තේ එය ඇති වීම වළක්වා ගැනීමට යි.
ගැස්ට්‍රයිටිස් වැළඳීම වැළකීමට අපගේ ආහාර පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
  • අධික සැර සහිත ආහාර භාවිතයෙන් වැළකීම
  • තෙල් හා පිෂ්ටය අධික ආහාර ගැනීමෙන් වැළකීම
  • තක්කාලි වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීමෙන් වැළකීම
  • එමෙන්ම යෝගට්, නිවුඩු සහිත ධාන්‍ය, කැරට්, පොල් වතුර, ඇපල්, මෙන්ම අලුත් එළවලු හා පලතුරු මෙම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා යෝග්‍ය වෙනවා.

එසේම වැදගත්ම කාරණයක් වන්නේ මෙම රෝගය වැළදුණු පසු සුව කර ගැනීමට නම් ඔබගේ වැරදි ජීවන පුරුදු වෙනස් කරගැනීමට අවශ්‍ය වේ .

  • මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකීම
  • අසාත්මික ආහාර වලින් ඈත් වීම
  • තේ කෝපි පානය අවම කිරීම
  • අධික තෙල්, පිටි අඩංගු ආහාර භාවිතයෙන් වැළකීම
  • මිරිස් තුනපහ වැඩිපුර යෙදු ආහාර භාවිතයෙන් වැළකීම
  • ඇඹුල් ගතිය වැඩි ආහාර භාවිතය අඩු කිරීම
  • නිරාහාරව සිටීමෙන් වැළකීම

මානසික ආතතිය පාලනය කරගැනීම ද අත්‍යවශ්‍ය තවත් කරුණක්. ඒ සඳහා හොදින් නිදා ගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වෙනවා. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, ආහාර හොඳින් සැපීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ශරීරයේ නිසි බර පවත්වා ගැනීම මෙන්ම ව්‍යායාම වල නිරතවීම ආදිය ද ගැස්ට්‍රයිටිස් පාලනය කිරීම සඳහා උපකාරී වෙනවා. එමෙන්ම වෛද්‍යවරයා විසින් ලබා දෙන ඖෂධ නිසි අයුරින් භාවිතා කිරීම ද වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!