ඔළුව අවුල් කරන උඳුගොව්වෝ

අපේ සමාජයේ වෙසෙන බොහෝ දෙනා තමන්ගේ රූපලාවන්‍ය පිළිබඳ විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. එවන් තත්ත්වයක් තිබියදී චර්ම රෝගයක් වැළඳුනොත් මොකක් වෙයිද ? බොහෝ විට මානසික වශයෙන් පීඩාවට පත් වේවි.චර්ම රෝග ගණයට ගැනෙන උඳුගොව්වන් කෑම (Alopecia Areata) නමැති හිසෙහි කැළැල් ඇතිවීමේ රෝගි තත්ත්වය නිසා බොහෝ විට බොහෝ දෙනා අපහසුතාවට පත් වෙනවා.උඳුගොව්වන් කෑම කියන්නෙ මොන ආකාරයේ රෝගී තත්ත්වයක්ද ,ඒ සඳහා බලපාන හේතු සාධකද මොනවද වගේම මේ සඳහා තිබෙන ප්‍රතිකාරයන් පිළිබවද තමයි අද share care තුළින් ඔබ වෙත රැගෙන එන්නේ .

උඳුගොව්වන් කෑම ඇති වෙන්නේ සතෙක් නිසාද ?

උඳුගොවුවා කෑම යැයි කී සැණින් යමෙකුට සිහියට නැගෙන්නේ මෙය සතෙකු නිසා හටගන්නා තත්ත්වයක් බවයි .සමාජයේ වෙසෙන බොහෝ දෙනා හිතන් ඉන්නේ හිසේ තිබෙන කෙස් ගස් උඳුගොව්වා කියන සතෙක් කෑම හිසේ පැල්ලම් ඇති වෙන බවයි .ඒත් ඒක වැරැදි අදහසක්. මේ රෝගය ඇති වන්නේ සතෙක් නිසා නෙමෙයි. විවිධ ශාරීරික හේතු නිසා ඇතිවන චර්ම රෝග තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

උඳුගොව්වන් කෑම කියන්නේ මොකක්ද ?

උඳුගොව්වෝ කෑම යනු ඔබේ හිසේ තැනින් තැන හිස කෙස් ගැලවී ගොස් පැල්ලම් වැනි කැපී පෙනෙන තට්ටය කොටස් ඇති කරනු ලැබීමයි.එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්වයකි. ඔබත් මෙලෙස හිසේ තැනින් තැන හිස කෙස් අහිමි වී පැල්ලම් ලෙස තට්ටය මතු වු පුද්ගලයන් දැක ඇති.එය ටිකක් අමිහිරි දසුනක් නේද?
වෛද්‍ය විද්‍යාවේදී උඳුගොව්වන් කෑම කියලා කියන්නෙ Alopecia Areata කියන තත්ත්වයයි. ඒත් මේ රෝගය වැළඳෙන ක්‍රමය මොකක්ද කියලා මෙතෙක් සොයාගෙන නෑ.ඒක විෂබීජයක් නිසාවත්, සතෙක් කෑම නිසාවත් ඇතිවන රෝගයක් නෙමෙයි. එහෙම සිතීම මිථ්‍යාවක්. ඒත් මේ රෝගී තත්ත්වය වැළඳීම සඳහා හේතු කාරණා කිහිපයක් බලපාන බවට සැක කෙරෙනවා.

උඳුගොව්වන් කෑම ඇති වීමට හේතු

ශරීර අභ්‍යන්තර රෝග (immunological) නිසා මෙවැන්නක් ඇතිවන්න ඉඩ කඩ ඇතැයි සිතන්න පුළුවන්. ඒ වගේම ජාන සම්බන්ධ (Jentic) රෝගයක් විදිහටත් මෙය ඇතිවිය හැකි බව සමහරු පවසනවා. සුදු රුධිරාණු හිසකෙස් වල ඇති සෛල වලට පහර දෙන විට එම සෛල හැකිලී කෙස් නිෂ්පාදන වේගය අඩු වෙනවා.ඇත්තටම සුදු රුධිරාණු මෙලෙස හිස කෙස් සෛල වලට පහර දීමට හේතුව නිශ්චිතවම පවසන්න බැහැ.ඒ වගේම මෙම රෝගී තත්වය ඇති අයෙක් පවුලේ සිටි නම් එම තත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් තියෙනවා.
මීට අමතරව ඒ ඒ පුද්ගලයන්ට බලපාන මානසික පීඩාකාරී තත්ත්වයන් හේතු කරගෙන මේ චර්ම රෝගය ඇතිවිය හැකියි. රෝගී තත්ත්වයක් නිසා හෝ සමීපතමයකුගේ මරණයක් නිසා හෝ වෙනයම් කරුණක් හේතු කරගෙන ඇතිවන මානසික ව්‍යාකූලත්වය, ආතතිය නිසා උඳුගොව්වන් කෑම ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

රෝග ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කෙස් වැටීමයි. එහිදි හිස්කබලේ කාසි ප්‍රමාණයේ පැල්ලම් සහිත වෙන විදියට කෙස් හැලීමට පටන් ගන්නවා.
රැවුල සහ ඇහි බැම ඇතුළුව හිසකෙස් වර්ධනය වන ඕනෑම තැනක මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.
හිසකෙස් එකවර හැලෙන අතර දින කිහිපයකින් හෝ සති කිහිපයකින් ඒවා වර්ධනය වෙනවා.
හිසේ කෙස් හැලීමට පෙර එම ප්‍රදේශයේ කැසීම හෝ දැවිල්ලක් ඇතිවීම සිදුවෙන්න පුළුවන්.
හිසකෙස් මුල විනාශ නොවන අතර එම නිසා කෙස්වල දැවිල්ල අඩු වුවහොත් හිසකෙස් නැවත වර්ධනය වෙනවා.
හිසකෙස් ගැලවී ‌‌ගොස් තට්ටය පැල්ලම් කිහිපයක් පමණක් ඇති අයට ප්‍රතිකාර වලින් තොරව සුවය ලැබෙනවා.

උඳුගොව්වා කෑමට අත් බෙහෙත්

  1. එළබටුකොළ යුෂ, මීපැණියෙන් ආලේප කරන්න. ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අනා ගෑම ද යෝග්‍යයි. එළබටු ඇට දෙහි ඇඹුළින් අඹරා ගාන්න.
  2. ජාපාල කොළ උඳුගොව්වා කෑ තැන අතුල්ලා බාඳුරා දළු අඹරා තලතෙලින් අනා ගාන්න.
  3. ඔළිඳ ඇට හා එම මුල් එකට අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. ඔළිද ඇට මද මී පැණියෙන් අඹරාගෑම ද සුදුසුයි.
  4. නුග දළු කේසර බැබිල දළු සමව ගෙන අබතෙල් සමඟ අනා පොඩිකර රසකිඳ වැලේ ඉස්ම හා විනාකිරි සමඟ එක්කොට අනා අව්වේ කකාරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය සුදුසුයි.
  5. කඳුලැස්ස දෙහි ඇඹුළින් අඹරා ගාන්න.
  6. දේවධාර අමු රසකිඳ ඉස්මෙන් අඹරා ගාන්න.
  7. නියඟලා අල අරලිය කොළ ඉස්මෙන් අඹරා ගාන්න.
  8. වියළි ඉඟුරු තල තෙලෙන් අඹරා නැවත අත්තන කොළ යුෂ වලින් අඹරා ගාන්න.
  9. නියඟලා අල බදුල්ල ඇට, කළුතල සමව ගෙන කරවිල කොළ ඉස්මෙන් අඹරා ගාන්න.
  10. දුම්මැල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා යුෂ ගෙන දින කිහිපයක් උඳුගොව්වා කෑ තැන ආලේපය සුදුසුයි.
  11. වතු කහඹිලියා අමු කහ එකට කොටා මිරිකාගත් ඉස්ම දින කිහිපයක් එක දිගටම එම ස්ථානයේ ගාන්න.
  12. දේවධාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගලගා කතා නොකර දින 14ක් උඳුගොව්වා කෑ ස්ථානයේ මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් හෝ කොටකිඹුලා කොළයක් ගත හැකිය.
  13. අමු රසකිඳවැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උඳුගොව්වා කෑ තැන පිරිමදින්න. මෙය සුවවනතෙක් දින කිහිපයක් කිරීම වටී.
  14. අමු පොල්කොළ පිළිස්සුණු අළු තල තොලෙන් අඹරා එහි ගාන්න.
  15. ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගියා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කිරීම.
  16. හබරල පිත්තට හුණු ආලේප කර උඳුගොව්වා කෑ ස්ථානයේ ගාන්න.
  17. සිවිය දළු ඉඟුරු දළු තලතෙලෙන් කකාරා ගාන්න.
  18. ගැට තුඹ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍ර කර උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේපය යෝග්‍යයි.

මෙවැනි අත්බෙහෙත් ගැනීමේදී විශේෂයෙන් සමහර අයට ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම නවතා වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගත යුතු බව මතක තබාගන්න.එසේම මෙය බෝ නොවන රෝගයකි. වේදනා රහිතය. අසනීප ගතියක් පෙන්නුම් නොකරයි. නමුදු කෙස් යනු අපගේ බාහිර ස්වරූපයේ කැපි පෙනෙන අංගයකි. බාහිර අලංකාරය පෙන්වන්නකි. කෙස් අහිමිව යෑම මානසික පීඩාවක් ඇතිකල හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!