නැවතත් ලාදුරු හිස ඔසවයි

ලාදුරු කියූ පමණින් එය කෙබඳු රෝගයක්ද යන්න ඔබ දැනටමත් දන්නවා ඇති . නමුත් අතීතයේ ලාදුරු රෝගය සැලකුවේ සමාජයෙන් වෙන් කර තැබිය යුතු රෝගයක් ලෙසයි. නමුත් ලාදුරු කියන්නේ දැන් සුව කළ හැකි සහ විකෘති වීම් වළක්වා ගත හැකි රෝගයක්. ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරය විසින් අනතුරු අගවලා තියෙනවා .
ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්නයි .

ලාදුරු කියන්නේ මොකක්ද

Leprosy ලෙස හදුන්වන ලාදුරු රෝගය මයික්‍රෝබැක්ටීරියම් ලෙප්රෝ නම් බැක්ටීරියාව මගින් බෝවන රෝගයකි. එය සිරුර තුළ සෙමින් පැතිරෙන අතර බීජෞෂණ සමය සාමාන්‍යන් අවුරුදු 03-05 ත් අතර වෙනවා.ඒ නිසා දරුණුතම රෝග ලක්ෂණයන් පෙන්වීමට කාලයක් ගත වෙනවා .මෙම රෝගය ඕනෑම වයසක ,ස්ත්‍රී පුරුෂ දෙපක්ෂවයටම වැලඳිමේ හැකියාව තියනවා . නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැවීම තුලින් ලාදුරු රොගය සුව කල හැකියි. මෙම ප්‍රතිකාර මගින් සිරුර තුළ සිටින රෝගාකාරී බැක්ටීරියාව විනාශ වන අතර රෝගය පැතිරීමද වැළකෙනවා.රෝගියෙකු නිසි ලෙස ප්‍රතිකාර ගැනීම ආරම්භ කළ පසු අන් අයට රෝගය බෝවීම සිදු වෙන්නේ නැහැ . රෝගය මුල් අවධියේදීම හදුනාගෙන ප්‍රතිකාර සම්පූර්න කළහොත් සිරුරේ විකෘතිතිවයන් ඇතිවීමෙන් තොරව සුව කල හැකිය. එම නිසා මෙම රෝගය කෙරෙහි අනිසි බියක් දැක්විය යුතු නොවේ.

බෝ වෙන ආකාරය

ප්‍රතිකාර නොගන්නා ලාදුරු රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන කෙළ වල රැදී ඇති බැක්ටීරියා පරිසරයට එකතුවී ස්වසනය මගින් නිරෝගී පුද්ගලයෙකුට බෝවීම සිදුවේ.

රෝග ලක්ෂණ

සමේ ඇතිවෙන සංවේදනය අඩු හෝ සංවේදන නොමැති කැලලක් හෝ ලප කැලැල් මෙහි රෝග ලක්ෂණ වෙනවා . මෙම ලප කැලැල් ලා පැහැයක්, මද රතු පැහැයක් හෝ තඹ පැහැයක් ගනියි. මෙය මදක් උස් වූ හෝ පැතලි කැලැල් වේ. මෙම ලප කැලල් මත කැසීමක් ඇති නොවේ. උණුසුම, ස්පර්ශය යන සංවේදන වලට හානි වීම නිසා ඒවා නොදැනී යයි. ඇතිවන වෙනත් ලක්ෂණයන් වන්නේ මුහුණ කන සහ වෙනත් ස්ථාන වල ඇතිවන සමේ වර්ණයට සමාන හෝ මද රතු පැහැති ගැටිති හෝ දිලිසෙන සුලු ඉදිමීම් පැවතිය හැක.

ලාදුරු රෝගය විය හැකි සැක සහිත රෝග ලක්ෂණ

  • අත් හා පා වල හිරි ගතිය
  • ඇසිපිය සම්පූර්ණයෙන් වැසීමට නොහැකි වීම
  • කන්පෙති කෙලවර ඝන වීම
  • ඇහිබැම හැලීයාම
  • ඇගිල්ලේ හටගත් වේදනා රහිත තුවාල
  • නාසය ගිලී යාම

ලාදුරු රෝගයේ ආබාධිත අවස්ථා

  • අත් පා වල සංවේදනය නොමැති වීම
  • අත් පා වල මාංශ පේෂීන් දුර්වල වීම
  • ඇගිලි වකුටු වීම සහ පාද අප්‍රාණික වීම
  • ඇස් සම්පූර්නයේන වැසීමට නොහැකි වීම
  • සංවේදනය නොමැති වීම නිසා තුවාල සිදුවීම සහ එම තුවාල අසාදනය වී විකෘතිතා ඇතිවීම.

සමෙහි පවතින ලාදුරු නොවන රෝග ලක්ෂණ

  • උත්පත්තියේදී ම ඇතිවන ලප කැලැල්
  • සංවේදනය ඇති වෙනත් ලප කැලැල්
  • කසන සුලු සුදු, රතු හෝ කළු පැහැති කුඩු මෙන් ඉවත්වන ලප
  • හදිස්සියේ ඇතිවී ඉක්මනින් පැතිරීයන සමේ ඇතිවන ව්‍යාකූලතා

ලාදුරු සදහා ප්‍රතිකාර

නූතන ඖෂධ මඟින් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බැවින් ලාදුරු වැළදුන පුද්ගලයෙක්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් .ලාදුරු රෝගය සදහා ඖෂධ සියළුම රජයේ රෝහල් වල පිහිටි චර්ම රෝග සායන වලින් නොමිලේ ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා .ඒ වගේම වෛද්‍ය උපදෙස් පරිදි දිනපතා ඖෂධ රෝගයේ තත්වය අනුව මාස 06ක් හෝ මාස 12ක් භාවිතා කිරීම අනිවාර්යයි .ආවරණය කරන ලද ඖෂධ ඇසුරුම, ආරක්ෂාකාරී වියලි අදුරු ස්ථානයක කුඩා ලමුන්ගෙන් ඈත් කර තැබීමට මතක තබා ගන්න ඕනේ .අනිත් දේ තමයි වර්ණය වෙනස් වූ හෝ නරක් වූ ඖෂධ වල ඇත්නම් ඒවා භාවිතා නොකර නැවත චර්ම රෝග සායනයෙන් නව ඖෂධ ලබාගත යුතුය.ඖෂධ අවසන් කල පසු කායික පරීක්ෂාවක් සදහා චර්ම රෝග සායනයට යොමුවිය යුතුය.පළමු මස ඖෂධ ලබාදෙන මුල් අවස්ථාවේදී කුඩු කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. ඉන්පසු සෑම මසකම ලබා දෙන ඖෂධ මෙසහි සලකුණු කරන අතර අවසාන ඖෂධ ඇසුරුම ලබාගත් පස් මෙම කාඩ්පත් රෝහලට භාරදිය යුතුය.සම්පූර්න සුවය ලැබීමට වෛද්‍ය උපදෙස් පරිදි , ඖෂධ නොකඩවා භාවිතය අත්‍යවශ්‍ය වේ.

ආබාධිත තත්වයන් අවම කර ගැනීම

  • අත්වල, දැනීම අඩු වී ඇත්නම් උණුසුම් දේ සහ ආයුධ උපකරණ භාවිතයේදී අත්වැසුම් භාවිතා කළ යුතුය.
  • පාදයේ පතුල්වල දැනීම අඩුවී ඇත්නම් පාවහන් හෝ විශේෂිත සෙරප්පු භාවිත කිරීමෙන් තුවාල සිදුවීම වළක්වා ගත යුතුය.
  • තුවාලයක් සිදුවුණි නම් විශබීජ නාශක ද්‍රවයකිවන් පිරිසිදු කොට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ලාදුරු ගැන ඔබ දත යුතු දේ

  • ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
  • ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාදිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
  • මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
  • ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
  • ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
  • ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
  • ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
  • ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
  • මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක, එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
  • කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.

ලාදුරු රෝගය සදහා ලබා දෙන ඔෂධ විෂබීජය මර්ධනය කොට රෝගය තව කෙනෙකුට බෝවීම සහමුනින්ම නැති කරයි. රෝගීන්ට සුපුරුදු පරිදි නිවසේ ජීවත්වෙමින් පාසල් යාම, කාර්යාල සේවයේ යෙදීම , මංගල උත්සව , ප්‍රියසාද, විනෝද හා වන්දනා ගමන්, වැනි සෑ කටයුත්තකම යෙදීමට හැකිය. එසේම අභිමත පරිදි විවාහ ජීවිතයට එළඹ දරුවන් ලැබීමට ද හැකිය.එම නිසා ලාදුරු රෝගය වැළදීමෙන් තම ජීවන රටාව වෙනස් කළ යුතු නොවේ.
කිසියම් සැක කටයුතු ලක්ෂණයක් දුටු වහාම වෛද්‍යවරයෙකු වෙත නැතිනම් චර්ම රෝග සායනකට ගොස් නිසි පරීක්ෂාවට ලක්වීමෙන් මේ රෝගය සුවකරගන්නට පමණක් නොව එය ඔබේ සමීපතමයන් හට බෝවීමද වළක්වා ගත හැකියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!