නැවත හිස ඔසවන ඩෙංගු මාරයා පරදවමු

මිනිසාට වින කරන සතුන් අතර මාරාන්තිකම මට්ටමේ ඉන්න සතෙක් තමයි මදුරුවා . මදුරුවා කෙලින්ම බෝ කරන ලෙඩක් මදුරුවා නිසා බෝවෙන දරුණු ලෙඩ රෝග රැසක් තියෙනවා. එයින් ඩෙංගු ලංකාවෙ දරුණුවටම තියෙන රෝගයක් විදියට හදුන්වන්න පුළුවන් .ඒ වගේම මැලේරියා දැන් අඩු වුණත් එක් කාලයකදී මැලේරියා කියන්නේ අපේ රටේ වියළි කලාපය බිලිගත් දරුණු උණ රෝගයක්. ඊට අමතරව කහ උණ, සීකා සහ ජැපනීස් එන්සපලයිටීස් මදුරුවන් නිසා ඇති වෙන රෝග ලෙස හදුන්වන්න පුළුවන් .අද Share Care තුළින් ඔබව දැනුවත් කරන්නේ ඩෙංගු රෝගය පිළිබදවයි .

ඩෙංගු රෝගය යනු

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයක් .ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර කලාතුරකින් මතු වෙන රෝග ලක්ෂණ ලෙස ,

  • සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever – DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever – DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්)
    ඩෙංගු වෛරසයට ප්‍රභේද 4ක් ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේ දී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ ) වැඩිවේ.

ඩෙංගු බෝ වෙන්නේ කොහොමද ?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවනවා. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතීනවා . තවද පුද්ගලයෙකුගේ වයස, ප්‍රතිශක්තීකරණය හා ඩෙංගු වෛරසයේ ප්‍රභේද මත රෝගයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් .

ඔබට ඩෙංගු වැළදිල ද ?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ වැනි අවදානම් අවස්ථා වලට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේ දී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වෙනවා . සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිම අනිවාර්යයි. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වෙනවා .සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම , මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

රෝග ලක්ෂණ

  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස්පිඩු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය සහ වමනය
  • සමෙහි රතු පැහැ ලප හට ගැනීම
  • රුධිර වහන තත්ත්වයන්

අවදානම් ලක්ෂණ

  • උදරයේ ඇතිවන තද වේදනාව
  • නොනවත්වා වමනය පැවතීම
  • අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බන
  • රුධිර වහනය වීම (විදුරුමසෙන්, නාසයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)
  • පැය 06ට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

ඩෙංගු රෝගය නිශ්චය

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමයි . ඒ සඳහා උණ සෑදී දින 02ට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC – Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වෙනවා .ඩෙංගු වෛරසය ශරීර ගතවී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හදුනා ගැනීමට හැකියාවක් නැහැ .
ඩෙංගු රක්තපාත උණ යනු ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවක්. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු වෙන්නේ නැහැ . එහි දී උණ බැස යාමත් සමග ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීම සිදු වෙනවා . මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3වන දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා කරන රුධිරය පරීක්ෂා (FBC) වල වෙනස්කම් මඟින් හඳුනා ගන්න පුළුවන්. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය වෙන්න පුළුවන් .

උණ ඇති විට මේ දේවල් කරන්න

  • වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න
  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් (Paracetamol) ඖෂධය ලබා දෙන්න
  • තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.
  • වේදනා නාශක ඖෂධ හා ස්ටීරොයිඩ් භාවිතයෙන් වලකින්න.
  • සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න.
  • උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් වලක්වා ගන්න.
  • උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න.
  • ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.
  • තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.
  • රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

ඩෙංගු වලින් වැළකෙමු

මිනිස් ක්‍රියාකාරකම් වලින් ඇති වූ Dengue preventionඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පීලි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තව ද, බ්‍රෝමිලියා, අන්නාසි පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වාභාවිකව ජලය රැඳෙන ස්ථාන වල ද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත අඳුරු ස්ථාන වල ද රැඳී සිටිය හැකිය.එම නිසා ඩෙංගු වලින් බේරී සිටීමට නම් ,

  • අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අදින්න
  • මදුරු විකර්ශක භාවිතා කරන්න (උදා: පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක)
  • භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්ක්‍රීකරණය කරන්න
  • අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කරන්න
  • වැහිපීලි වල හිර වී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න
  • වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න
  • වතුර එක්රැස් වන ස්ථාන ලිං සහ ටැංකි වලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න
  • නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න

ඩෙංගු යනු පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත තීරණය වෙන මාරන්තික රෝගයක් .එම නිසා අවධානම් ලක්ෂණ නොමැති වුව ද ගර්භනී මවුවරුන්, අවුරුදු 1 ට අඩු දරුවන් , අධිබර සහිත රෝගීන් ,වැඩිහිටි පුද්ගලයින් හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින් නොපමාව රෝහල් ගත විය යුතුය . ඩෙංගු වැළකීමට සහයෝගය ලබා දීම ඔබ අප සැමගේ වගකීමකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!