එක රැයකින් කුරුලෑ සුව කරගන්න ඕනෙද ?

සිරුරේ ඇති තෙල් ග්‍රන්ථි ආසාදනය වෙලා තෙල් එකතු වෙලා පැසවලා හටගත් විසර ගෙඩියක් කුරුලෑවක් විදියට හඳුන්වන්න පුලුවන්. කුරුලෑ සමේ ඕනෑම තැනක ආසාදනය වෙන්න පුලුවන් වුණත් මුහුණේ තියෙන සියුම් සම් තට්ටුව නිසා මුහුණෙන් කුරුලෑවක් ඉස්මතු වී පෙනෙන ප්‍රමාණය වැඩියි. ඒවගේම හෝමෝන ක්‍රියාකාරිත්වය සහ සමට අහිතකර ආලේපන වර්ග සහ සත්කාර කිරීම නිසාත් කුරුලෑ ඇතිවෙනවා. කුරුලෑ ආසාදන තත්ත්වය නිසා බොහෝ දෙනෙක් මානසිකව පීඩා විඳින්නෙ මුහුණෙ තියන පැහැපත් බව අඩුවීම නිසා. වෙළඳපොළේ නොයෙක් ක්‍රීම් වර්ග සහ ප්‍රතිකාර තිබුණත් ඔබේ සමේ ස්වාභාවය අනුව ඒ හැම ප්‍රතිකාරයක්ම ප්‍රතිඵල ගෙනත් දෙන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා. අද Share Care අපි කතා කරන්නේ කුරුලෑ ඇතිවීම වළක්වා ගන්නටත් කුරුලෑ සහ ළප කැලැල් සහිත මුහුණක් පැහැපත් කරගන්නටත් උදව් වෙන tips කීපයක් ගැනයි .

කුරුලෑ කියන්නේ ලෙඩක් ද ?

මෙය සම ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයක් නිසා චර්ම රෝගයක් ලෙස හැඳින්වේ. අපේ සමේ ඇසට නොපෙනෙන රෝම කූප නම් කුඩා සිදුරු තිබෙනවා. දහදිය සම මතු පිටට එන්නේ ද සමෙහි ඇති ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලින් නිකුත් වන දියර සම මතු පිටට එන්නේ ද එම රෝම කූප ඔස්සේයි. ඇතැම් විට රෝම කූප ඇහිරීම නිසා එම දියර ස්නේහස්‍රාවී ග්‍රන්ථිවලම තැන්පත් වෙනවා. එය කුරුලෑවක උපත ලෙස හැඳින්විය හැකියි.

කුරුලෑ ඇති වන්නේ ඇයි?

  • යොවුන් වියේ දී කුරුලෑ හටගන්නේ ඇන්ඩ්‍රජන් හොමෝනය ස්‍රාවය නිසා
  • මානසික පීඩා
  • සැර සබන්, පුයර සහ ආලේපන භාවිතය
  • ඇතැම් ඖෂධ වර්ග භාවිතය
  • හෝර්මෝන අසමතුලිතාවය

යොවුන් විය සහ කුරුලෑ

යොවුන් වයසෙදී ඔවුන්ගෙන් ලිංගික හෝමෝන ස‍්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ. කුරුලෑ ඇතිවීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ‍්‍රජන’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග‍්‍රන්ථියෙන්’ ස‍්‍රාවය වන දෙයක්. ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ‍්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව ද මේ හෝමෝනය ශ‍්‍රාවය වෙනවා.ඇන්ඩ‍්‍රජන් හෝමෝනය ඕනෑම තරුණ තරුණියකගෙන් ස‍්‍රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝට ම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කූප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.

කුරුලෑ රෝග වර්ග

  • මීලියා කුරුලෑ තත්ත්වය
    මීලියා කුරුලෑ ඉතා ම කුඩාය. මෙම කුරුලෑ නළල, කම්මුල සහ නිකට ආශ්‍රිත ප්‍රදේශවල කුඩා කුඩා බිබිලි වශයෙන් බහුලව දක්නට ලැබේ. එහෙත් සැරව තත්ත්වයක් දක්නට නොලැබේ.
  • Acne කුරුලෑ තත්ත්වය
    Acne කුරුලෑ රෝග තත්ත්වය මුළු මුහුණ පුරාම දැකිය හැකියි. එමෙන්ම පුද්ගලයාගේ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය දක්වා පැතිර යන ආකාරයක් දක්නට ලැබේ. මෙම කුරුලෑ ප්‍රමාණයෙන් මීලියා කුරුලෑවලට වඩා විශාල අතර සැරව තත්ත්වයක් ද දැකිය හැකිය.
  • ‘Pimple’ කුරුලෑ තත්ත්වය
    මෙම කුරුලෑ තත්ත්වය කම්මුල් දෙපස හා නළල් ප්‍රදේශය ආශ්‍රිතව වැඩි වශයෙන් දැකගත හැකිය. නමුත් සමහරුන්ගේ පිට, බෙල්ල හා පපුව ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම කකුල් ආසන්නයේත් මෙම කුරුලෑ දැකගත හැකිය.
    මේවා බොහෝ විට හට ගන්නේ උෂ්ණාධික සිරුරුවලය. ඊට අමතරව හිස් හොරි සහිත පුද්ගලයින් අතර ද මෙම තත්ත්වය දැකිය හැකිය.
  • ‘යීස්ටි‘ කුරුලෑ තත්ත්වය
    මේවා පෙර සඳහන් කළ කුරුලෑවලට වඩා තරමක් විශාලය. මෙම කුරුලෑ තත්ත්වය හට ගත් පුද්ගලයෙකුගේ මුහුණේ බොහෝ විට බිබිලි හතරක් පමණක් දැක ගත හැකිය. සාමාන්‍යයෙන් ඝන ස්වභාවයක් උසුලයි. සම අභ්‍යන්තරයේ ඇති වන ගැටිත්තක ස්වරූපයක් උසුලයි. මෙම තත්ත්වය සාමාන්‍ය ක්‍රම ඔස්සේ සුව කළ නොහැකි අතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

කුරුලෑ මිරිකීම

කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇති විය හැකියි. විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප‍්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.

කුරුලෑවට තිත

කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක‍්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප‍්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුවායක් භාවිත කළ යුතුමයි.

පිරිසිදුකම අංක එක

මුලින්ම ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ සම මනාව රැක බලාගැනීමට සහ ආරක්ෂා කිරීමටයි. මෙයට අමතරව ඔබේ සම නිරතුරුව පිරිසිදු කරන්නට හැකිනම් කුරුලෑ එන්නට කිසිදු ඉඩක් නැහැ. එහෙත් ඕනෑවට වඩා පිරිසිදු කරන්නටත් යන්න එපා. මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන් ඒ නිසා ඕනෙම දෙයක් ගානට කරන එක තමයි හොඳම දේ.
මේ නිසා ඔබ,
1.මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා හරින්න.
2.මුහුණ දවසකට දෙවරකට වඩා සෝදන්නට එපා.
3.ඔබ මුහුණ සොදත්දී සීතල හෝ උණු ජලය සමඟ මුහුණු පිරිසිදුකාරයක් [cleanser] භාවිතා කරන්නට පුලුවන්නම් බොහොම හොඳයි.
4.නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුණේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න.
5.ගොඩක් තදින් මුහුණ අතුල්ලන්නට යාමෙන් වලකින්න.

නිවසේදී කුරුලෑ මට්ටු කරමු

  • කොහොඹ දලු, අමු කහ, සුදු හදුන් තැම්බු ජලයෙන් මුහුණට වාෂ්ප අල්ලන්න
  • පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කරන්න
  • ලෙමන් යුෂ ස්වල්පයකින් පුළුන් කැබැල්ලක් පොගවා මුහුණේ ආලේප කර ටික වේලාවකින් ඇල් වතුරින් හෝදන්න
  • කුරුලෑ ඇති තැන්වල මී පැණි ආලේප කර ටික වේලාවකින් හෝදන්න.
  • කෝමාරිකා මුහුණේ ගා රැයක් තිබෙන්නට හැර ඇල් වතුරින් හෝදා ඉවත් කරන්න
  • තෙල් සහිත ආහාර හා මස් මාංස ආහාර වර්ග ගැනීම සීමා කරන්න
  • නිතර පිරිසිදු ජලය බොන්න.
  • විටමින් E සහ C අඩංගු එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න
  • රුධිරය පිරිසිදු කරන නෙල්ලි, රසකිද, ඉරමුසු, බෙලි මල් වැනි පාන වර්ග නිතර බොන්න

වෛද්‍ය ප්‍රතිකාර

කුරුලෑ සඳහා ප්‍රතිකාර වර්ග කීපයක්ම තියෙනවා. ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරාදේවි. මොන ක්‍රමය භාවිතා කළත් මතක තබා ගතයුතු වැදගත් කරුණ නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මාස දෙකක් වත් අඩු තරමින් ගත වන බවයි.

  • බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)
    දියර ජෙලි හෝ ක්‍රීම් ලෙස ඔසුහල්වලින් ලබාගත හැකියි. සියයට 2.5 හා සියයට 5 සාන්දාණයන්ගෙන් ලබා ගත හැකි මෙම ඖෂධය සබන් යොදා සෝදා වියලා ගත් සම මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කළ යුතුයි. පසුව දවසට දෙවරක් ආලේප කිරීම ද පුළුවන්. මෙම ඖෂධය සමට අගුªණ නම් හෝ මාස 2ක් ඇතුළත හොඳ ප්‍රතිඵල නොදුන්නොත් එය නතර කර දැමීමට ඔබේ වෛද්‍යවරයා උපදෙස් දෙයි .
  • ප්‍රතිජීවක (Antibiotics)
    කුරුලෑ සඳහා තවත් ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයකි. මේ මුඛයෙන් ලබා ගැනීමට පෙති හෝ කරල් වශයෙන් ද සමෙහි ආලේපයට දියර හෝ ක්‍රීම් වශයෙන් ද ලබා ගත හැකියි.
  • ට්‍රෙටිනොයින් (Tretinoin)
    තවත් හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක්. දවසකට වරක් ආලේප කරන මෙම ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුළ ආලේප කිරිම නුසුදුසුයි. මෙම ඔසුව ආලේප කර තද අව්වට නිරාවරණය වීමද සුදුසු නොවේ. එවිට සම පිළිස්සීමට හැකියි.
    මෙම ඔසුව ආලේප කර මුල් සති කිහිපය තුළ කුරුලෑ වැඩිවන ස්වරූපයක් පෙනුණත් පසුව අඩු වී යයි.

වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද?

ඉහත සඳහන් කළ ක‍්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි.ඇතැම් සරල ආලේපනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත‍්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩ ව ප‍්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප‍්‍රතිකාර නතර කළහොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ. මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ ඇති ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුවකළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප‍්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගැනීම සිදු කල යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!