පාදය පවා අහිමි විය හැකි ගල් තැලුම්

සමාජයේ ඉතා වෙහෙස වී බර වැඩවල නිරතවන පුද්ගලයන් අතර බොහෝ සේ දැකිය හැකි පීඩාකාරී තත්ත්වයක් ලෙස මෙම ගල් තැලුම් හදුන්වන්න පුළුවන් . පාදවල වැඩි වශයෙන් දැකිය හැකි මෙම ගල් තැලුම් අත්ලේ ද ඇති විය හැකි ය.ගල් තැලුම් යනු අතීතයේ සිට මිනිසා ව්‍යවහාර කිරීමට පුරුදු වූ වචනයකි. නමුත් ආයුර්වේදයේ ගල් තැලුම් ඛදර නමින් හඳුන්වයි.මෙය ඇණයක් ආකාරයට තමයි පවතින්නේ. එනම් සම මතුපිට රවුම් ආකාරයට ඝනවී අභ්‍යන්තරයට කේතු ආකාරයට ගිලා බසියි. එමනිසා ඇවිදින විට මෙමගින් වේදනාවක් දැනෙනවා .මෙය කැරටින් වලින් නිර්මාණය වූ ඉතා තද කොටසකි. මෙහි සම මතුපිට ඇති රවුම් හැඩති ඝන කොටස බොහෝ දෙනා කොස්ස ලෙස ද හඳුන්වනවා.

වර්ග දෙක

බටහිර වෛද්‍ය විද්‍යාවේ ගල් තැලුම් වර්ග දෙකකට බෙදනවා .
1.කැලස්
2.කෝන්
මෙහි ඉතා පීඩාකාරී තත්ත්වක් ඇති කරන්නනේ කෝන් ආකාර ගල්තැලුම යි. එනම් ඉහත සඳහන් කළ ඇණයක් ආකාරයට අභ්‍යන්තරයට විහිදුණු ගල් ගල්තැලුම.කැලස් ආකාර ගල් තැලුම් මතුපිට සම ඝන වීමක් පමණක් දැකිය හැකි අතර මෙය එතරම් පීඩාවක් ගෙන නොදෙයි.

ගල් තැලුම් ඇති වීමට හේතු

  • පාවහන් නොමැතිව ඇවිදීම
  • ගල් මුල් කටු වැනි දේ ඇනීම
  • නිතරම යටිපතුල් , අත්ල රළු පෘෂ්ඨ වල ස්පර්ශ වීම
  • බර වැඩවල නිරත වීම
  • උස් අඩි සහිත පාවහන් පැලඳීම
  • අත් ආවරණ නොදමා වාද්‍ය භාණ්ඩ වාදනය
  • අධික ලෙස ඇවිදීම හා දිවීම
  • තරබාරු බව
  • ශරීරයේ උෂ්ණාධික බව

ගල් තැලුම් හා බරපතළ තත්ත්ව

ගල්තැලුම් බොහෝවිට පාදයේ හා අත්ලේ ඇති වෙනවා. පාදයේ ඇතිවන ගල් තැලුම් ඇවිදීම සමග බොහෝ පීඩාවක් හා වේදනාවක් ගෙන දෙනවා .ඒ වගේම ඇතැම් පුද්ගලයන්ගේ පාදයේ ගල්තැලුම් හත අටක් පමණ ඇති වෙන්න පුළුවන් .මෙම තත්ත්ව ඉතා බරපතළ තත්ත්වයක් නොවුණද ඇණයක් බඳු හැඩය හෙවත් කෝන් ආකාරයේ පාදයේ ඇතිවන ගල් තැලුම් ඉතා වේදනාකාරී වෙනවා .
මෙම ගල් තැලුම් මූලික අවදියේ සුව කරගත්තේ නැතිනම් ශල්‍යකර්ම සිදු කිරීම දක්වා දුර යාමට පුළුවන .පාදයේ ගල් තැලුම් දෙක තුනකට වඩා පවතී නම් පතුලම පවා ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට සිදුවෙන අවස්ථා තියෙනවා .

විවිධ අත් බෙහෙත් වර්ග

  • ජයපාල කොළ ටිකක් පොල් තෙලින් මලවා බදින්න. එසේ නොමැති නම් අඹරා ගාන්න
  • තිරුවානා ගල් පුළුස්සා කුඞුකර ගිතෙලින් අනා ගන්න
  • තිරුවානා ගල් උණු අලුවෙන් රත්කර කුඩුකර අංකෙන්ද කොළ පොතු කොටා ලබාගත් යුෂ හීනටි හාල් සමග කුඩුකර දොඩම් ඇඹුලින් ගාන්න
  • ගස්ලබු ගැට මද පොල් කිරෙන් තම්බා අඹරා ගල්තැලුම ඇති ස්තානයේ බදින්න
  • අමුකහ සහ වල් හබරල දඩු එකට කොටා බදින්න
  • කටුපිල කොළ මුල් රැගෙන කොටා කබලේ බැද රස්නේ පිටින් පොල් ටිකක් සමග කවලම් කරගෙන තැල්ම උඩින් තබා රෙදි පටියකින් ඔතා හොදින් බදින්න
  • නියගලා අල, හබරල අල, සුදුලුනු බික් 2ක් ,සහිද ලුණු ,ගම්මිරිස් ඇට කිහිපයක් එකට අඹරා ගල් තැලුම ටිකක් පලුදු කර බදින්න
  • අමු පොල් ලෙල්ලකට පොල් තෙල් ටිකක් දමා තෙල් ගාලා ලිප උඩ හරි අගුරු උඩ හරි තිබා උදේ දවල් රෑ තවන්න
  • දෙහි බෑයක් ගෙන දින කිහිපයක්ම අතුල්ලන්න
  • බේකින් සෝඩා මේස හැදි 3ක් වතුර බේසමකට දමා කවලම්කර පාද එහි ඔබා ගෙන විනාඩි 15ක් සිටින්න. ඊටපසු බේකින්සෝඩා වලින් තලපයක් සාදා එය ගල් තැලුම මතතවරා රෙදි පටියකින් ඔතා පැය 12ක් තබන්න
  • පොල් විනාකිරි වල පෙගවූ පුළුන් කැබැල්ලක් ගල් තැලුම මත තබා රෙදි කැබැල්ල්කින් ඔතා පැය 4ක් තබන්න
  • අන්නාසි ලෙල්ලක් කර ගැටය මත තබා රෙදි පටියකින් වෙලා රැයක් පුරා බැද තබන්න
  • තලන ලද සුදුළූනු බිකක් කරගැටය මත තබා රැයක් තබන්න

ගල් තැලුම් ඇතිවීම වළක්වා ගැනීමට

  • නිතරම පාදයට පහසු සුදුසු පාවහන් භාවිතය
  • රළු පෘෂ්ඨ ස්පර්ශ වන ලෙස කටයුතු කිරීමේදී සුදුසු අත්වැසුම් හා පාවහන් පැලඳීම
  • වාද්‍ය භාණ්ඩ භාවිතයේදී ඒ සදහා සුදුසු අත් වැසුම් භාවිතය
  • උෂ්ණාධික ආහාර වලින් වැලකීම
  • ශරීර ස්කන්ධ දර්ශකය නිවැරදිව පවත්වා ගැනීම
  • අඩි උස සපත්තු දැමීමෙන් වළකින්න
  • ඉතා ඝන පාවහන් පැලදීම අවම කිරීම
  • ගල් , බොරලු සහිත බිම් වල පාවහන් නොමැතිව නිතර ඇවීදීමෙන් වැළකීම

ගල් තැලුම් බිය විය යුතු තත්ත්වයක් නොවූවද ගල් තැලුමක් ඇති වූ විගස නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් ඔබට ඇති වන පීඩාකාරී තත්ත්වයෙන් මිදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!