දියවැඩියාව පිටුපස සැගවුණු මාරයා

දියවැඩියා රෝගීන්ගෙන් 40%ක් පමණ ගොදුරු වන ඉතා දරුණු තත්වයක් විදියට දියවැඩියාව නිසා ඇති වෙන වකුගඩු රෝගය හදුන්වන්න පුළුවන් . වකුගඩු වලින් සිදුකරන රුධිරය පෙරීමේ ක්‍රියාවලිය අඩාල වීමක් තමයි මෙහිදී සිදු වෙන්නේ . ඔබත් දියවැඩියා රෝගියෙක් නම් මින් මිදීමට කළ හැකි පහසුම දෙය දියවැඩියාවත් රුධිර පීඩනයත් පාලනය කර ගැනීමයි.
මේ තත්වයත් නිදන්ගත වකුගඩු රෝගයට සමානයි. එහෙත් නිදන්ගත වකුගඩු රෝගය සෑදීමට විවිධ වූ හේතු තිබුණත් මෙහිදී වකුගඩු රෝගය සෑදීමට ප්‍රධාන හේතුව වන්නේ දියවැඩියාවයි.
ඉතින් අද Share Care අරගෙන ආවේ දියවැඩියාව නිසා ඇති වෙන වකුගඩු රෝගය පිළිබදවයි .

දියවැඩියාව වකුගඩු වලට බලපෑම් කරන ආකාරය

දියවැඩියාව කියන්නේ පුංචි රුධිර නාලිකා විනාශ කර දමන රෝගයක්. වකුගඩු තුළ රුධිර කේශනාලිකාද මේ නිසා විනාශ වෙනවා.ඒ වගේම රුධිර වාහිනී ප්‍රමාණය අඩු වන විය රුධිර පීඩනය වැඩි වෙනවා. එවිට වකුගඩු වල රුධිරය පෙරෙන පීඩන අන්තරය ඉතා වැඩියි. මෙහිදී අවසානයේ සිදු වන්නේ රුධිර කේශ නාලිකා පමණක් නොවෙයි, වෘක්කාණුවේ කොටස්ද විනාශ වෙලා යනවා. එවිට රුධිරය පෙරණ වකුගඩුවේ ඇති පුංචිම ඒකකය වන වෘක්කාණුවට මෙහිදී හානි සිදු වෙනවා.
මෙය පෙර දැනුම් දීමකින් තොරව රහසේම වර්ධනය වන තත්වයක්. පස්වන මට්ටම තත්වය දක්වා මෙය වර්ධනය වුනොත් ඔබේ ජීවිතය අනතුරේ. එවිට වකුගඩුවක් බද්ධ කිරීම හෝ රුධිර පිරිපහදු යන්ත්‍රයක පිහිට පැතීමට සිදුවනවා. බස්නාහිර පළාතේ නිදන්ගත වකුගඩු රෝගීන්ගෙන් වැඩිම පිරිසකගේ මෙම තත්වයට හේතු වන්නේ දියවැඩියාවයි.

රෝගය ලක්ෂණ

  • රුධිර පීඩනය පාලනය කරගත නොහැකි තත්වයට පත් වීම
  • මුත්‍රා වල ප්‍රෝටීන් පැවතීම (මුත්‍රා වල වලාවක් වගේ ස්වභාවයක් පෙනෙනවා)
  • කකුල්, වළලුකර, දෑත්, ඇස් ඉදිමීම
  • නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව
  • කෑම අරුචිය
  • ඔක්කාරය හා වමනය
  • සිරුරේ කැසීම් ඇති වීම
  • යම් දෙයකට හිත යොමුකළ නොහැකි වීම
  • කිසි වැඩක් නොකළත් මහන්සි ගතියක් දැනීම

වකුගඩු රෝගය නිසා ඇතිවන වෙනත් ආබාධ

  • පෙනහලු වල වතුර පිරීම (Pulmonary Edema)
  • රුධිර පොටෑසියම් මට්ටම ඉහළ යාම (Hyperkalemia)
  • ඇසේ දෘෂ්ටිවිතානයට හානි කරයි (Diabetic Retinopathy)
  • රක්තහීනතාවය ඇතිවේ

වකුගඩු රෝගී වී ඇති බව දැනගත හැකි පරීක්ෂණ

  • මෙහිදී මූලික වශයෙන්ම මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවේදැයි පරික්ෂා කෙරෙනවා.
  • ඊට අමරව රුධිර ක්‍රියටිනින් ප්‍රමාණය හා රුධිර යූරියා නයිට්‍රජන් (blood urea nitrogen) වැනි පරීක්ෂණ මගිනුත් මේ සම්බන්දයෙන් දැනග්නට පුළුවන්. නමුත් එම පරීක්ෂණ වලින් වකුගඩු රෝගී තත්වය හදුනාගැනීමට නම් වකුගඩු වලට සැලකිය යුතු හානියක් සිදුවී තිබිය යුතුයි.
  • නමුත් creatinine clearance, glomerular filtration rate (GFR) සහ urine albuminයන පරීක්ෂන ඊට වඩා සාර්ථක ලෙස රෝගය හදුනාගැනීමට භාවිතා කරන්නට පුළුවන්.

වකුගඩු හානි වීමට ගත වන කාලය

  • පළමු වර්ගයේ දියවැඩියා තත්වය වැලදී ඇති රෝගීන්ට සාමාන්‍යයෙන් වසර දෙකත් පහත් අතර කාලයක් තුල වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ යම් වෙනස්කම් පෙන්නුම් කරන්නට පුළුවන්.
  • ඒවාගේම වකුගඩු වල ක්‍රියාකරීත්වයේ 30% – 40%ක අතර ප්‍රමාණයක වෙනස් කම් සිදුවීමට සාමාන්‍යයෙන් වසර 10 -30ත් අතර පමණ කාලයක් ගත වෙනවා.
  • දෙවන වර්ගයේ දියවැඩියා තත්වයේදීත් මේ හා සාමාන තත්වයක වකුගඩු ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් දැකගන්නට පුළුවන්.

දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගයට ප්‍රතිකාර

මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ වලින් ACE inhibitors ගණයට අයත්වන අධිරුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ මගින් වකුගඩු රෝගය වර්ධනය වීම පාලනයක් සිදුවනබව හෙලිවී තිබෙනවා. මෙම ඖෂධ මගින් රුධිර පීඩනය අඩුකරනවා සේම වකුගඩුවේ රුධිරය පෙරන කොටස වන ගුච්ඡිකාව තුල ඇති රුධිරයේ පීඩනය අඩු කරනවා. එලෙසම මුත්‍රා සමග පිටවන ප්‍රෝටීන් ප්‍රමාණය අඩුකිරීම වැනි රුධිර පීඩනය අඩු කිරීමට බලපෑමක් නැති වෙනත් ධනාත්මක බලපෑම්ද මෙම ඖෂධ මගින් ලැබෙන බව හෙලිවී තිබෙනවා.

වැළකෙන්නේ කෙසේද

  • දියවැඩියාවෙන් වැළකෙන්න
  • දැනටමත් තිබේනම් එය හොඳින් පාලනය කරගෙන යන්න.
  • රුධිර පීඩනය නියත මට්ටමක පවත්වා ගන්න.
  • දුම් පානයෙන් වලකින්න
  • උසට සරිලන බර පවත්වාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!