හැමදෙයක්ම එපා වෙලාද ?

මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමක් . ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇති වෙනවා. ඒ වගේම ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත් ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්. එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද එය ඔබට දෛනික කටයුතු ක්‍රියාශීලීව කිරීමට උනන්දුව ඇති කරයි. නමුත් ඔබ අධික මානසික ආතතියක් යටතේ කටයුතු කරනවා නම් එය ගැටළුවක් බවට පත් වෙන්න පුළුවන් . මානසික ආතතිය දරාගැනීමට ඇති හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා .ඒ වගේම මානසික ආතතියට ඔබගේ සිතුවිලි වලට සහ ක්‍රියාකාරකම් වලට බලපෑම් කිරීමට හැකියාව තියෙනවා .
ආතතිය කියන්නේ කාර්යබහුල සමාජයේ අද විශාල ලෙස දැකගන්න තියෙන දෙයක්.අපිත් සමහර වෙලාවට අධික ලෙස ආතතියෙන් ඉන්නවා . අද Share Care තුළින් ඔබ වෙත ගෙන එන්නේ ආතතිය පිළිබදවයි .අපි ආතතිය ගැන දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි.මොකද ආතතිය ගැන අවබෝධයෙන් හිටියොත් අපිට පහසුවෙන්ම ඒ තත්වයෙන් මිදෙන්න හැකියාව තිබෙනවා.

ආතතියේ ලක්ෂණ

  • මතකය ආශ්‍රිත ගැටළු
  • කේන්ති යාම
  • නිතර අසතුටෙන් සිටීම
  • යමකට අවධානය යොමු කිරීමට නොහැකි වීම
  • දුර්වල විනිශ්චය
  • කාංසාව සහිත සිතුවිලි
  • සෑම දෙයකම ඍණාත්මක පැත්ත දැකීම

කායික රෝග ලක්ෂණ

  • නිතර ඇඟ පත වේදනාව ඇතිවීම
  • පාචනය හෝ මල බද්ධය
  • හේතු නැතිව ඔක්කාරය
  • මාංශ පේශි ගැස්ම
  • නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව
  • බර අඩු වීම
  • වමනය
  • ලිංගික තෘප්තිය නොමැති වීම
  • අධික ලෙස හිස කෙස් ගැලවී යාම

චර්යාත්මක රෝග ලක්ෂණ

  • ආහාර වැඩියෙන් හෝ අඩුවෙන් ගනියි
  • අනෙක් පුද්ගලයන්ගෙන් හුදකලා වීමට සිතයි
  • සිත සන්සුන් කරගැනීමට මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙයි
  • තර්කශීලි බව නිතර දක්නට ලැබීම
  • නින්ද අධික ලෙස යාම හෝ නින්ද නොයාම

මානසික ආතතිය ඇතිවීමට හේතු

මානසික ආතතිය ඇතිවීමට නියම හේතුව හෝ හේතු හඳුනාගැනීම අපහසුය. ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
ඇතැම් සුලබ හේතු ලෙස ,

  • ආර්ථික ගැටළු
  • රැකියා ගැටළු
  • සමීපතයෙකුගේ මරණය
  • පවුලේ ඇතිවන ගැටළු
  • අන් අය සමග පවතින සම්බන්ධතා වල ගැටළු
  • විභාග
  • විවිධ රෝග
  • ආදරය කරන පුද්ගලයන් අතර ඇතිවන ගැටළු

දිගුකාලීන මානසික ආතතිය නිසා සංකූලතා

  • අධික රුධිර පීඩනය
  • අංශභාගය
  • හදවත් රෝග
  • දියවැඩියාව
  • ගැස්ට්‍රයිටිස් සහ ආමාශයේ තුවාළ හටගැනීම
  • නින්ද ආශ්‍රිත ගැටළු (නින්ද නොයාම, අධික නිදිමත)
  • විෂාදය (Depression)
  • අසාමාන්‍ය බිය (Anxiety)
  • ආහාර ගැනීමේ රටාවෙහි ඇතිවන රෝග (Eating disorders)
  • ප්‍රතිශක්තිය අඩුවීම
  • මත්පැන්, දුම්වැටි, සහ මත් ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑම
  • අනතුරු වලට ලක්වීමට ඉඩකඩ වැඩිවීම
  • ලිංගික කටයුතු වල ඇතිවන ගැටළු

මානසික ආතතිය පාලනය

සති කිහිපයක් ආතති දිනපොතක් පවත්වාගෙන යන්න. ඔබගේ මානසික ආතතිය වැඩිවන අවස්ථා, දිනය, වෙලාව, ස්ථානය, ඔබ සමග සිටි පුද්ගලයන් පිළිබඳ විස්තර, ඔබට ඇතිවූ හැඟීම්, සිතුවිලි, කායික රෝග ලක්ෂණ, සහ ඔබ කරමින් සිටියේ කුමක්ද යන්න දිනපොතෙහි සටහන් කරන්න. ආතති දිනපොතක් පවත්වාගෙන යාමෙන් ඔබට මානසික ආතතිය ඇතිකරන හේතු, වැඩිකරන සාධක, සහ ආතතිය පාලනය කිරීමට කුමක් කල යුතුද යන්න පිළිබඳ අදහසක් ගත හැක.

ආතතිය තියෙනවා නම්

  • පැය 7 – 9 අතර දිගු නින්දක් ලබා ගන්න
  • පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න
  • විශේෂයෙන් කැෆේන් පාන බොන්න එපා
  • සංගීතය වැනි මනසට වෙහෙසකර නොවන දෙයක රසවිඳින්න
  • යහළුවන් සහ ගෙදර අයත් එක්ක නිතරම කාලය ගත කරන්න
  • ඇවිදින්න ,පිහිනන්න, බයිසිකල් පදින්න
  • මිතුරකු සමග දුරකථනයෙන් සම්බන්ධ වන්න
  • මදක් ස්වභාවික පරිසරයක ගතකරන්න
  • ගෙදර වැඩ කරන්න
  • සුරතල් සතුන් සමග ගතකරන්න

ඉහත උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබගේ මානසික ආතතිය පාලනය කල නොහැකි නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම සුදුසුය. ඔබගේ වෛද්‍යවරයා ගැටළුකාරී ආතතිය පාලනය කිරීමට මෙන්ම හේතුකාරක වෙනත් රෝග සහ ආතතියෙහි සංකූලතා වලට ප්‍රතිකාර කිරීමට ඔබට මග පෙන්වනු ඇත. අනුශාසනය (Counseling), බුද්ධිමය-හැසිරීම් ප්‍රතිකර්ම (Cognitive-behavioural therapy/CBT), කෝපය පාලනය කිරීමේ උපක්‍රම (anger management techniques) සහ ආතති පාලන කණ්ඩායම් (Stress management groups) ආදිය මානසික ආතතිය සඳහා හොඳ ප්‍රතිකර්ම වේ. ඔබට මානසික ආතතියෙහි සංකූලතා ලෙස විෂාදය හෝ අනිසි බිය පවතී නම්, ඔබගේ වෛද්‍යවරයා ප්‍රතිවිෂාද ඖෂධ (Antidepressants) හෝ අනිසි බිය දුරු කිරීමට ඖෂධ (Anxiolytics) ලබාදෙනු ඇත. ඖෂධ මගින් මානසික ආතතිය සුවකල නොහැක. නමුත් ඒවා කෙටි කාලීන සහනයක් ලබාදීමට සමත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!