කලිනුත් මෙහෙම වුනා කියලා හිතෙන්නේ ඇයි?

යම්කිසි සිදුවීමක් වුණාට පස්සෙ මේක මීට කලිනුත් මේ විදියටම වුණා වගේ දැනෙනවා. කවදාවත් නොගිය තැනකට ගියාමත් මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා වගේ මතකයක් එනවා. ඒත් කොච්චර මතක් කරත් ඒක සිදුවුණේ කවදද කියල මතක් කරගන්නම බැහැ.ඔබත් සමහරවිට මේ අත්දැකීම ජීවිතේ එක පාරක් හරි විඳල ඇති.
මෙහෙම වෙන්නෙ ඇයි? පෙර භවයේ මතකයක් නිසාද? නැත්තං ඒක හීනයක්ද? ඒ ගැන තමයි අද Share Care තුලින් කියන්න යන්නෙ..

déjà vu (ඩේජා වූ)

මේ සංසිද්ධියට කියන්නෙ déjà vu (ඩේජා වූ) කියලා. ඒක ප්‍රංශ වචනයක්. තේරුම තමයි already seen (දැනටමත් දැකපු) කියන එක.මේක ගැන 2003 වසරෙදි Psychological Bulletin කියන journal එකෙන් සිදු කරපු සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන් දෙදෙනෙක්ම මෙම අත්දැකීම විඳල තියෙනවා.
ඇත්තටම කිව්වොත් මේ සංසිද්ධිය සිදු වෙන්නේ අපේ මොළයෙ පොඩි ප්‍රශ්නයක් නිසා. déjà vu තත්වයක් ඇතිවෙන්න සාමාන්‍යයෙන් පුද්ගලයාගේ වයස අවුරුදු 10ක් වත් වීම අත්‍යවශ්‍යයි . මේ තත්වය ඇතිවෙන්න හේතු රාශියක් බලපානවා.

කුඩා කල මතක

ඔබ ගොඩක් කුඩා කාලෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණු පිළිවෙල මතකද? නැහැ නේද? ඔබ පෙරේදා රෑට කෑවෙ මොනවද කියල වත් මතකද? ඉතින් එහෙම එකේ පොඩි කාලෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණ පිළිවෙළ ගැන මොන මතකයක්ද?
හැබැයි දැන් ඔබ කොහෙහරි නිවසකට යනවා. මේ ගෙදරත් ගෘහභාණ්ඩ තියල තියෙන්නෙ ඔබ පොඩි කාලෙ හිටපු ගෙදර පිළිවෙලටමයි. නමුත් ඔබට එය මතක නෑ. ඒත් ඒ පිළිවෙල ඔබගේ මතකයේ තැම්පත් වී තිබෙනවා .එම හේතුව නිසා ඔබට ලොකු හුරුපුරුදු ගතියක් දැනෙනවා. මීට කලින් මෙතනට ආවා වගේ දැනෙනවා. ඒත් කවදද ආවෙ කියලා මතකම නෑ. එහෙම වෙන්නෙ අර පැරණි මතකය නිසා.

Signal delay

ඔබට ඇස් 2ක් සහ කන් 2ක් පිහිටා තියෙනවා. ඒත් ඔබට පේන්නෙ දෙපාරකටද? ඇහෙන්නෙ දෙපාරකටද? නැහැනෙ? මොකද ඔබ ඇස් දෙකෙන්ම දකින දේවල් වලට අදාල signals ඔබගේ මොළයෙ පිටුපස කොටසෙ තියෙන Visual Cortex නම් ස්ථානයට යන්නෙ එකම වෙලාවෙදි නිසා.
ඒත් ඉතාම කලාතුරකින් මේ සිග්නල් දෙක අතරෙ පොඩි delay එකක් ඇතිවෙනවා.එනම් ඔබගේ වම් ඇසෙන් ලබාගත් සිග්නල් එක මොළයට ගිහින් පුංචිම පුංචි වෙලාවකට පසුවයි දකුණු ඇහෙන් ලබාගන්න සිග්නල් එක මොළයට ගමන් කරන්නේ . දැන් මොළයට මෙමෙ තත්වය හදුනාගන්න අපහසු වෙනවා . මන්ද මොළයට එකම සිග්නල් එක මිලිතත්පර ගානක් තුල දෙපාරක්ම ලැබුණ නිසා .
නමුත් සියලු දේ නිවැරදිව සිදු වෙන බව සිතන මොළය එම සිග්නල් 2ම එක පාර ලැබුණා යැයි සිතනවා. ඉතින් දෙවෙනි සිග්නල් එක එනකොට ඒ දත්ත ටිකම පළවෙනි සිග්නල් එකෙන් ලැබුණත් මොළය ඒක පිළිගන්න සූදානම් නැති නිසා එතන déjà vu තත්වයක් ඇතිවෙනවා. එතනදි අපි මේක මීට කලින් දැක්කා වගේ මතක් වෙන්නෙ වම් ඇහෙන් මිලිතත්පර ගාණකට කලින් මොළයට ලැබුණු සිග්නල් එකේ දැකපු දේවල් ටික තමයි.

කෙටි කාලීන හා දිගු කාලීන මතකය

අපි පාඩම් කරන ගොඩක් දේවල් හොඳින් අපේ මතකයට යන්නෙ එකම දේ නිතර නිතර පාඩම් කරද්දි. මොකද අපේ මොළයෙ කෙටි කාලීන මතකය (Short Term Memory) සහ දිගු කාලීන මතකය (Long Term Memory) ලෙස කොටස් දෙකකට බෙදී ඇති නිසායි . අපි සාමාන්‍යයෙන් අහන දකින දේවල් යන්නෙ කෙටි කාලීන මතකයට. කාලයක් එකම දේ කිහිප වරක්ම කෙටි කාලීන මතකයට ආවම මොළය තීරණය කරනවා මේක වැදගත් දෙයක් කියලා. එහෙම හිතල ඒ දෙය කෙටි කාලීන මතකයෙන් දිගු කාලීන මතකයට යවනවා.
හැබැයි බොහොම කලාතුරකින් සමහර දේවල් කෙටිකාලීන මතකය bypass කරල එක පාරම කෙලින්ම දිගු කාලීන මතකයේ තැන්පත් වෙනවා. ඒත් මොළය හිතන්නෙ මේක සාමාන්‍ය ක්‍රමයටම කෙටි කාලීන මතකයෙන් ආපු මතකයක් කියලයි. එහෙම හිතල එයා කෙටි කාලීන මතකය පුරාම search කරල බලනවා මේක කොහෙන්ද ආවෙ කියල. ඒත් හොයාගන්න බැහැනෙ. එවිටත් එම අවස්ථාවේදී déjà vu තත්වයක් ඇතිවෙනවා.

ඒ වගේම ගොඩක් සංචාරය කරන අයට සහ හොඳින් සිහින නැවත ආවර්ජනය කරන්න පුළුවන් අයටත් déjà vu තත්වය ඇතිවෙන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා . මීට අමතරව අපස්මාරය වගේ රෝග නිසා වගේම සමහර බෙහෙත් හා වේදනා නාශක නිසාත් déjà vu ඇතිවෙන්න පුළුවන්.
ඉතින් මේක පෙර භවයේ මතකයක් වත්, සමාන්තර ලෝකයක සිදුවීමක් වත්, වෙනත් ගුප්ත බලයක් වත් නොවන බව දැන් ඔබට පැහැදිලි ඇති.මෙම තත්වය සාමාන්‍ය සිදුවීමක්..හැබැයි ඉතින් මේක නිතරම දිගින් දිගටම වෙනව නම් වහාම neuro surgeon කෙනෙක් හම්බවෙලා පරික්ෂා කරගත්තොත් හොඳයි කියන එකත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!